2018 Nawam Fullmoon Poya Day R...

2018 Nawam Fullmoon Poya Day Religious Programme

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 නවම් පුන් පො‍හෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2018-01-31 වන දින උදෑසන හයට මහාවිහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමි විසින් උපාසක උපාසිකාවන් අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ශීල සමාදානය ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව උදෑසන බුද්ධ පූජාව පූජා කරන ලදී.

අනතුරුව පෙරවරු ධර්ම දේශනාව පූජ්‍ය  කඩවත්ගම පියරතන නායක  හිමිපාණන් විසින් දේශනා කරන ලදී. ධර්ම දේශනාවේ මාතෘකාව ලෙස
“මජ්ඣිම නිකායේ කකචුපම සූත්‍රය” ඇසුරින්
“මහණෙනි යම් කිසි කෙනෙක් දෙපැත්තටම අදින්න පුලුවන් දිග කියතකින් ඔබගේ ශරීරයේ  අතපය වැනි අංග කපමින්  සිටින අවස්ථාවක, එම සිදුවීම නිසා එම පුද්ගලයා කෙරෙහි ඔබට කේන්තියක් තරහක් වෛර‍යක් ඇතිවී ඔබගේ මනස දූෂණය කර ගන්නවා නම්, ඔබ මාගේ බුද්ධ වචනය පිළිගත් පුද්ගලයෙක් නොවන වග ඉතා හරවත්ව මෙම සූත්‍රයෙන් දේශනා කරන ලදී. එසේම   මනස හික්මවා ගෙන, වචනය හික්මවා ගෙන, අකුසල් දුරු කරවා ගෙන, කුසල් වඩවාගෙන මෙම ආර්ය මාර්ගයේ පිරිසිදුව ගමන් කළ යුතු බව”
මෙම ධර්ම දේශනාවෙන් ඉතා පැහැදිලිව විග්‍රහ කරන ලදී.

අනතුරුව ගිහි දේශනාව ප්‍රවීණ දේශක ආචාර්ය රවීන්ද්‍ර මුදලිගේ මැතිතුමා විසින් සිදු කරන ලදී. මෙහිදී  “ගැටුම් කළමනාකරණය සහ බෞද්ධ උපදේශනය” පිළිබඳව සාකච්ඡා කරන ලදී.

පෙරවරු 10.30 ට බුද්ධ පූජාව පවත්වන ලදී.
පෙරවරු 11.00 සිට  දහවල් 12.00 දක්වා  උපාසක උපාසිකාවන් සදහා දහවල් දානය පිරිනමන ලදී.

දහවල් 12.00 ට ජාතක කතා දේශනාව භානක පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි විසින් පවත්වන ලදී.

අපරභාගයේ ධර්ම දේශනාව දහවල් 1.00 ට   පූජ්‍ය ආචාර්ය වැල්ලගිරියේ සීලසුමන හිමි විසින් පවත්වන ලදී. එහි මාතෘකාව ලෙස “ධම්මපදයේ අරහන්ත වග්ගයේ 06 වන ගාථාව  වන
“පඨවිසමො නො විරුජ්ඣති”
“ඉන්දඛීලොපමො තාදි සුබ්බතො”
යොදාගනිමින් සාරවත්  ධර්ම දේශනාවක් පවත්වන ලදී.
එහි අන්තර්ගතය සැකෙවින්,

“පිරිසිදු දෙය නිසා ඇලීමක් වත්, අපිරිසිදු දෑ නිසා ගැටීමක්වත් නොවන මහ පොලොව හා සම වූ, සත්කාර කරන්නවුන් හා අසත්කාර කරන්නවුන් කෙරෙහි සම අදහස් ඇති බැවින් ඉන්ද්‍රඛීලයක් බදු වූ,  තාදි වන්නාවූ හෙවත් අටලෝදහමේ  කම්පා නො වන්නා වූ, සුන්දර වූ,  ධුතාංග ව්‍රත ඇති, යම් ක්ෂීණාශ්‍රවයෙක්, තමන් හට කිපුන උන්හට,  විරුද්ධ නොවේද  හෙවත් නොකිපේද, පහ වූ මඩ  ඇති විලක් මෙන්, තාදී වූ, ඒ රහතන් වහන්සේට,  සුගති දුගති වශයෙන්  ඉපැද්මක් නැති හෙයින් සංසාරයෝ නොවන්නාහුය.”

ගිලන්පස විවේකයෙන් පසුව දම්සභා මණ්ඩපය, රතන සූත්‍රය මාතෘකා කරගනිමින්  පූජ්‍ය වැල්ලගිරියේ සීලසුමන හිමි ප්‍රධාන ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතා සහ ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

පස්වරු 4.00 ට භාවනා වැඩසටහන ශාස්ත්‍රවේදී ඉපලව පේමානන්ද හිමි විසින් මෙහෙයවන ලදී.

පස්වරු 5.00 ට ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි විසින් බෝධි පූජාව සහ සිල් පවාරනය සිදු කිරීම මගින් නවම් පුර පොහෝ දින දාන ශීල භාවනා වැඩසටහනේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරන ලදි.

මෙම පෝ දින ආගමික වැඩසටහන ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරන ලදී.

උවැසි උවැසියන් සඳහා උදෑසන හීල් දානය හෝමාගම කටුවාන පාරේ පදිංචි ඇම්. පී. පෙරේරා මහතා ඇතුළු සිය පවුල විසින් පිරිනමන ලදී.

දහවල් දානය මහනුවර පදිංචි සමුද්‍රා මහත්මිය  සහ සිය පවුල විසින් පිරිනමන ලදී.

මෙම දානමය පුණ්‍ය කර්මය සඳහා දායක වූ සැමටත්, ගිලන්පස පිලියෙල කල සැමටත් නන් අයුරින් උදව් කළ සහ සහභාගී වූ සියලු දෙනාටත් මෙත් සිත් පෙරදැරිව පුණ්‍යානුමෝදනා කරමි.

නවම් පුර පෝ දින ආගමික වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ප්‍රධාන මග පෙන්වීම හා උපදේශකත්වය මත ඉතාමත් සාර්කථකව සිදු කරන ලදී.  මෙම කර්තව්‍යය සාර්ථකව කරගැනීමට සහයෝගය දුන් අප විහාරස්ථානයේ විහාරවාසී ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලු දෙනාට ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.!

කුඩාඇලගමුවේ ඥානසිරි හිමි

නවම් පොහෝ දින පොහොය වැඩසටහනේ සම්බන්ධීකාරක