2018 Bak Fullmoon Poya Day Rel...

2018 Bak Fullmoon Poya Day Religious Programme

බක් පුන් පොහෝ දින දාන ශීල භාවනා
ආගමික වැඩ සටහන
මහා විහාරය, අනුරාධපුරය
(2018-03-31)

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 බක් පුන් පො‍හෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2018-03-31 වන දින උදෑසන හයට පවත්වන්නට යෙදිනි. මෙහිදී මහාවිහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමි විසින් උපාසක උපාසිකාවන් අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ශීල සමාදානය ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව උදෑසන සම්බුද්ධ පූජාව පැමිණ සිටි සියලුම සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් ඉමහත් හරසරින් පවත්වන්නට යෙදුණි.

පෙරවරු ධර්ම දේශනාව ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය කරපික්කඩ සෝභිත හිමි විසින් ඉතාමත්ම විචිත්‍රවත් ලෙස පවත්වන ලදී. ධර්ම දේශනාවට මාතෘකාව වූයේ සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුතියේ බහුධීතුක සූත්‍රයයි.

ඉතාමත්ම හරවත් වූ ගිහි දේශනාව පවත්වන ලද්දේ මහනුවර මහ රෝහලේ මනෝ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චාමින්ද වීර සිරිවර්ධන මහතා විසිනි. මෙහිදී අද්‍යතන සමාජය මුහුණපාන බොහෝ මානසික ගැටලු වලට බුදු දහමෙන් ලැබිය හැකි විසදුම් පිළිබද බොහෝ ගැඹුරු කරුණු සරල ආකාරයට විග්‍රහ කරන ලදී.

පෙරවරු 10.30 ට සම්බුද්ධ බුද්ධ පූජාව පවත්වන ලදී.
පෙරවරු 11.00 සිට දහවල් 12.00 දක්වා උපාසක උපාසිකාවන් සදහා දහවල් දානය පිළිගන්වන ලදී.

සුපුරුදු පරිදි දහවල් 12.00 ට ජාතක කතා දේශනාව භානක පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි විසින් පවත්වන ලදී.

අපරභාගයේ ධර්ම දේශනාව දහවල් 1.00 ට ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව හා තුළනාත්මක අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බෝදාගම සුමන හිමි විසින් පවත්වන ලදී. එහි මාතෘකාව ලෙස ධම්ම පදයේ සුඛ වග්ගයේ 05 වන ගාථාව වන “ජයං වේරං පසවති – දුක්ඛං සේති පරාජිනෝ” යොදාගනිමින් ඉතා සාරවත් ලෙස පවත්වන ලදී.

ගිලන්පස විවේකයෙන් පසුව දම්සභා මණ්ඩපය, උභයාර්ත සාධනය උගන්වන ව්‍යග්ඝපජ්ජ සූත්‍රය මාතෘකා කරගනිමින් ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය විමලතිස්ස හිමි, ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතා සහ ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

මෙදින පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිතව තිබූ භාවනා වැඩසටහන නොවැළැක්විය හේතුවක් නිසා ‍නොපැවැත්වුණි. ඒ වෙනුවට යථෝක්ත දම්සභා මණ්ඩපය අඛණ්ඩව බෝධි පූජාව තෙක් පවත්වන ලදී.

ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි විසින් බෝධි පූජාව සහ සිල් පවාරනය සිදු කිරීම මගින් බක් පොහෝ දින දාන ශීල භාවනා වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරන ලදි.

සුපුරුදු පරිදි මෙලෙස ඉතාමත් සාර්ථක ලෙස ‍පොහොය දින ආගමික වැඩසටහන මෙහෙයවනු ලැබූවේ ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතා විසිනි.

උවැසි උවැසියන් සඳහා උදෑසන හීල් දානය සහ දහවල් දානය වෙනුවෙන් බැතිබර දායකත්ය සැපයූ සියලු දෙනාටත්, ගිලන්පස පිලියෙල කල සැමටත් නන් අයුරින් උදව් උපකාර කළ සහ සහභාගී වූ සැමටත් මෙත් සිත් පෙරදැරිව පුණ්‍යානුමෝදනා කරමි.

මෙම අත්පත් කර ගත්තා වූ කුසලානිශංසයන් උතුම් නිර්වාණ ශාන්තිය පිණිසම මහත් වූ කරුණාවෙන් උපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කරමු.

බක් පුන් පෝ දින ආගමික වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ප්‍රධාන මග පෙන්වීම හා උපදේශකත්වය මත ඉතාමත් සාර්කථකව සිදු කරන ලදී. මෙම කර්තව්‍යය සාර්ථකව කරගැනීමට සහයෝගය දුන් අප විහාරස්ථානයේ විහාරවාසී ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලු දෙනාට ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.!

පහලතලාවේ සුමනසිරි හිමි
බක් පොහෝ දින පොහොය වැඩසටහනේ සම්බන්ධීකාරක
(Ven. Pahalathalawe Sumanasiri Thero)