2018 Adhi Poson Fullmoon Poya ...

2018 Adhi Poson Fullmoon Poya Day Religious Programme

අධි පොසොන් පුන් පො‍හෝ දින දාන, ශීල, භාවනා
ආගමික වැඩසටහන
මහා විහාරය, අනුරාධපුරය
2018-05-29

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 අධි පොසොන් පුන් පො‍හෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2018-05-29 වන දින උදෑසන හයට මහාවිහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමි විසින් උපාසක උපාසිකාවන් අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ශීල සමාදානය ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව උදෑසන බුද්ධ පූජාව පූජා කරන ලදී.

ඉන් පසුව උවැසි උවැසියන් සඳහා උදෑසන හීල් දානය පිරිනමන ලදී.

අනතුරුව පෙරවරු ධර්ම දේශනාව මල්වතු මහා විහාර වාසී පුරා විද්‍යා විශේෂවේදී පුජ්‍ය මැද මහනුවර ධම්මසිරි හිමි විසින් දේශනා කරන ලදී. ධර්ම දේශනාවේ මාතෘකාව ලෙස “පංචස්කන්ධය හා සලායතන ධර්ම” ඇසුරින් ඉතා හරවත් දේශනයක් පවත්වන කරන ලදී.

අනතුරුව ගිහි දේශනාව දහම් සරසවියේ කථිකාචාර්ය විශ්‍රාමික ගුරු උපදේශක ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා විසින් සිදු කරන ලදී. මෙහිදී “බුද්ධාගම සහ සැබෑ බෞද්ධයා” පිළිබඳව සාකච්ඡා කරන ලදී.

පෙරවරු 10.30 ට බුද්ධ පූජාව පවත්වන ලදී.
පෙරවරු 11.00 සිට දහවල් 12.00 දක්වා උපාසක උපාසිකාවන් සදහා දහවල් දානය පිරිනමන ලදී.

දහවල් 12.00 ට ජාතක කතා දේශනාව භානක පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි විසින් පවත්වන ලදී.

අපරභාගයේ ධර්ම දේශනාව දහවල් 1.00 ට පුජ්‍ය ආචාර්ය රාජකීය පණ්ඩිත අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පුජ්‍ය කොටියාගල උපරතන හිමි විසින් පවත්වන ලදී. එහි මාතෘකාව ලෙස ධම්මපදයේ ක්‍රෝධ වග්ගයේ 1 වන ගාථාව වන “කොධං ජහෙ විප්පජහෙයය මානං සඤ්ඤෙජනං සබ්බමතික්කමෙයය” යොදාගනිමින් ඉතා සාරවත් ධර්ම දේශනාවක් පවත්වන ලදී.

ඉන් අනතුරුව උවැසි උවැසියන් සඳහා ගිලන්පස පිරිනමන ලදී.

ගිලන්පස විවේකයෙන් පසුව දම්සභා මණ්ඩපය, කායික මානසික රෝග නිවාරණයට මඟ පෙන්වන සිහිකළ යුතු දස සංඥා මාතෘකා කරගනිමින් කථිකාචාර්ය පූජ්‍ය කිරම විමලතිස්ස හිමි ප්‍රධාන ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතා සහ ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

පස්වරු 4.00 ට භාවනා වැඩසටහන ශාස්ත්‍රවේදී ඉපලව පේමානන්ද හිමි විසින් මෙහෙයවන ලදී.

පස්වරු 5.00 ට ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි විසින් බෝධි පූජාව සහ සිල් පවාරනය සිදු කිරීම මගින් අධි පොසොන් පුර පොහෝ දින දාන ශීල භාවනා වැඩසටහනේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරන ලදි.

මෙම පෝ දින ආගමික වැඩසටහන ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරන ලදී.

ගිලන්පස පිරිනැමීම හතලිස් වන වරටත් අනුරාධපුර මහජන බැංකුවේ සේවයේ නියුතු දීපාල් මහතා ඇතුළු දායක පිරිස විසින් සිදුකරන ලදී. මෙවර ඒ සඳහා අනුරාධපුර යුනිවර්සිටි කොලේජ් හි ඉගනුම ලබන සිසු සිසුවියන් නොමද දායකත්වයක් සපයන ලදී. ඒ සඳහා එම ආයතනයේ අධ්‍යක්ෂ සංජීව මහතා ඇතුලු සියලු දෙනාට අපගේ ගෞරවණීය ස්තූතිය පුද කර සිටිමු.

හීල් දානය දහවල් දානය සහ ගිලන්පස යන දානමය පුණ්‍ය කර්ම සඳහා දායක වූ සැමටත්, නන් අයුරින් උදව් කළ සහ සහභාගී වූ සියලු දෙනාටත් මෙත් සිත් පෙරදැරිව පුණ්‍යානුමෝදනා කරමි.

අධි පොසොන් පුර පෝ දින ආගමික වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ප්‍රධාන මග පෙන්වීම හා උපදේශකත්වය මත ඉතාමත් සාර්කථකව සිදු කරන ලදී. මෙම කර්තව්‍යය සාර්ථකව කරගැනීමට සහයෝගය දුන් අප විහාරස්ථානයේ විහාරවාසී ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලු දෙනාට ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.!

කුඩාඇලගමුවේ ඥානසිරි හිමි
අධි පොසොන් පොහෝ දින පොහොය වැඩසටහනේ සම්බන්ධීකාරක