2018 Unduwap Fullmoon Poya Day...

2018 Unduwap Fullmoon Poya Day Religious Programme

උඳුවප් පුන් පොහෝ දින දාන ශීල භාවනා
ආගමික වැඩ සටහන
මහා විහාරය, අනුරාධපුරය
(2018-12-22)

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 උඳුවප් පුන් පො‍හෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2018-12-22 වන දින උදෑසන හයට මහාවිහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමි විසින් උපාසක උපාසිකාවන් අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව උදෑසන බුද්ධ පූජාව ඉතාමත් භක්ත්‍යාදරයෙන් යුතුව සිදු කරන ලදී.

ඉන්පසුව උපාසක උපාසිකාවන් වෙනුවෙන් උදෑසන හීල් දානය පවත්වන්නට යෙදිනි.

අනතුරුව පෙරවරු ධර්ම දේශනාව “සංයුක්ත නිකායේ ධීතු සූත්‍රය” ඇසුරින් ඉතමාත් හරවත්ව හා සාරවත්ව, ශ්‍යාමෝපාලි මහාවංශික අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය පූජ්‍ය මහාචාර්ය තඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමියන් විසින් පවත්වනට යෙදිනි.

අනතුරුව ගිහි දේශනාව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුමේධ වීරවර්ධන මැතිතුමා විසින් සිදු කරන ලදී. මාතෘකාව ලෙස “බුදු දහමේ ඉගැන්වෙන මානසික සුවය” යන මැයෙන් ඉතමාත් විචිත්‍ර දේශනාවක් පවත්වන ලදි.

පෙරවරු 10.30 ට බුද්ධ පූජාව පවත්වන ලදී.
පෙරවරු 11.00 සිට දහවල් 12.00 දක්වා උපාසක උපාසිකාවන් සදහා දහවල් දානය පිරිනමන ලදී.

දහවල් 12.00 ට ජාතක කතා දේශනාව භානක පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි විසින් පවත්වන ලදී.

අපරභාගයේ ධර්ම දේශනාව දහවල් 1.00 ට “අලංකතෝ වේපි සංමං චරෙය්‍ය” “සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී” (ධම්මපදයේ දණ්ඩ වග්ගයේ 14 වන ගාථාව) ඇසුරින් ධර්මදේශනාව ඉතාමත් සාරවත්ව පවත්වනට යෙදුනේ අනුරාධපුර මහා විහාර පිරිවෙනෙහි පරිවේනාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති වැල්ගිරියේ සීලසුමන හිමියන් විසිනි. ඉන් අනතුරුව එම දේශනාවට අදාළ ප්‍රශ්න සාකචිඡා කිරීම සිදුකරන ලදි.

ගිලන්පස විවේකයෙන් පසුව දම්සභා මණ්ඩපය, ශාස්ත්‍රවේදී යක්කඩුවේ සුගුණසීල හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා, ශාස්ත්‍රපති ඊ එම් ධර්මරත්න මැතිතුමා සහ ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතාගේ සහභාගීත්වයෙන් වීර්ය පාරමිතාව යන මාතෘකාව යටතේ සැමගේ සිත් ගන්නා අයුරින් ඉතාමත් හරවත්ව පැවැත්වුණි.

පස්වරු 4.00 ට භාවනා වැඩසටහන කිරළෝගම සුබෝධි මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී ඉපලව පේමානන්ද හිමි විසින් මෙහෙයවන ලදී.

පස්වරු 5.00 ට ශාස්ත්‍රවේදී පූජ්‍ය කෙහෙල්වල රේවත හිමි විසින් බෝධි පූජාව සහ සිල් පවාරනය සිදු කිරීම මගින් උඳුවප් පුන් පොහෝ දින දාන ශීල භාවනා වැඩසටහනේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරන ලදි.

මෙම පෝ දින ආගමික වැඩසටහන ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරන ලදී.

උඳුවප් පුන් පොහෝ දින ආගමික වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ප්‍රධාන මග පෙන්වීම හා උපදේශකත්වය මත ඉතාමත් සාර්කථකව සිදු කරන ලදී.
උදෑසන හීල් දානමය හා දහවල් දානමය පුණ්‍ය කර්මය සඳහා දායක වූ සැමටත්, ගිලන්පස පිලියෙල කල සැමටත් නන් අයුරින් උදව් කළ සහ සහභාගී වූ සියලු දෙනාටත් මෙත් සිත් පෙරදැරිව පුණ්‍යානුමෝදනා කරමි. අඛන්ඩව සෑම පොහෝ දිනකම ගිලන්පස පිළියෙල කිරීම සිදුකරන කුමාරි බාලසූරිය මැතිණියට සහ මහජන බැංකුවේ සේවයේ නියුතු දීපාල් මහතා ඇතුලු උදව් උපකාර කළ සැමටත් විශේෂ ස්තුතිය පුද කරමි.

මෙම වසරේදී මහා විහාරය මගින් සෑම පුන් පොහෝ දිනකම පවත්වන්නට යෙදුනු දාන ශීල භාවනා වැඩසටහන සාර්ථකව කරගැනීමට සහයෝගය දුන් අප විහාරස්ථානයේ විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලා සහ ආගමික වැඩ සටහන වෙනුවෙන් නන් අයුරින් අපහට දායකත්වය සැපයු සැමටත් මහා විහාරයේ සේවය් නියුතු සියලුම පොලිස් නිලධාරී මහතුන්ටත් සකල ලෝකවාසීන්ටත් ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් ලබන්නාවූ 2019 නව වසර සෞභාග්‍යමත් ප්‍රිතිමත් වාසනාවන්ත නව වසරක් වේවායි ආශිර්වාද පෙරදැරිව ප්‍රාර්ථනා කරමි.!

මොරගොල්ලාගම සිරිරතන හිමි
ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2018 උඳුවප් පොහොය වැඩසටහනේ සම්බන්ධීකාරක