2019 Duruthu Fullmoon Poya Day...

2019 Duruthu Fullmoon Poya Day Religious Programme

දුරුතු පුන් පොහෝ දින දාන ශීල භාවනා
ආගමික වැඩ සටහන
මහා විහාරය, අනුරාධපුරය
(2019-01-20)

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ 2019 දුරුතු පුන් පො‍හෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන 2019-01-20 වන දින උදෑසන හයට මහාවිහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමි විසින් උපාසක උපාසිකාවන් අෂ්ඨාංග සීලයෙහි පිහිටුවීමෙන් ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව උදෑසන බුද්ධ පූජාව ඉතාමත් භක්ත්‍යාදරයෙන් යුතුව සිදු කරන ලදී.

ඉන්පසුව උපාසක උපාසිකාවන් වෙනුවෙන් උදෑසන හීල් දානය පවත්වන්නට යෙදිනි.

අනතුරුව පෙරවරු ධර්ම දේශනාව : “2019 වසරේ ජීවිත හැඩගස්වා ගන්නේ කෙසේද?” යන මැයෙන් ඉතාමත් හරවත් හා සාරවත් ධර්ම දේශනයක් පවත්වන්නට යෙදිනි. වසරේ මුල්ම පොහෝ දින මුල්ම ධර්ම දේශනය සියල්ලන්ගේ සිත් ඇදගන්නා අයුරින් පවත්වන්ට යෙදුනේ ශ්‍යාමෝපාලි මහාවංශික අස්ගිරි පාර්ශවයේ උතුරු හා උතුරුමැද දෙපළා‍තේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් විසිනි.

අනතුරුව ගිහි දේශනාව `පුරාණ සිංහල බණ පොත්වලින් ගත හැකි ජීවිත අවබෝධය` යන මැයෙන් උතුරුමැද පළා‍තේ සහකාර අධ්‍යක්ෂක කුමාර සේනාරත්න මැතිතුමා විසින් ඉතාමත් කාලෝචිත දේශනාවක් පැවැත්වුනි.

පෙරවරු 10.30 ට බුද්ධ පූජාව පවත්වන ලදී.
පෙරවරු 11.00 සිට දහවල් 12.00 දක්වා උපාසක උපාසිකාවන් සදහා දහවල් දානය පිරිනමන ලදී.

දහවල් 12.00 ට ජාතක කතා දේශනාව භාණක පූජ්‍ය රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි විසින් පවත්වන ලදි.

අපර භාගයේ ධර්ම දේශනය ප.ව. 1.00 ට ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයෙහි උප ශාලාධිපති පූජ්‍ය උල්පත්ගම අමිතරතන හිමියන් විසින්, මාතෘකාව ලෙස

“හිරිනිසෙධො පුරිසො
කොචි ලොකසමිං විජ්ජති
යො නින්දං අප්පබොධති
අසෙසා භද්‍රො කසාමිච”

(ධම්ම පදයේ දණ්ඩ වග්ගයේ 15 වන ගාථාව) ඇසුරු කරගනිමින් සාරවත් දම් දෙසුමක් පවත්වන්නට යෙදුනි. ඉන් අනතුරුව එම දේශනාවට අදාළ ප්‍රශ්න සාකචිඡා කිරීම සිදුකරන ලදි.

ගිලන්පස විවේකයෙන් පසුව දම්සභා මණ්ඩපය, පූජ්‍ය විල්ගමුවේ පියනන්ද හිමි. ශාස්ත්‍රපති ඊ එම් ධර්මවර්ධන මැතිතුමා සහ ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමාගේ සහභාගිත්වයෙන්
ඛන්තී පාරමිතාව යන මාතෘකාව යටතේ සැමගේ සිත් ගන්නා අයුරින් ඉතාමත් හරවත්ව පැවැත්වුණි.

පස්වරු 4.00 ට භාවනා වැඩසටහන කිරළෝගම සුබෝධි මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී ඉපලව පේමානන්ද හිමි විසින් මෙහෙයවන ලදී.

ප.ව. 05.00 ට බෝධි පූජාව ශාස්ත්‍රපති පූජ්‍ය කෙහෙල්වල රේවත හිමියන් විසින් පවත්වා සිල් පවාරණය සිදු කරන ලදි.

2019 වසරේ දුරුතු පුන් පොහෝ දින අනුරාධපුර මහා විහාරයේ දාන ශීල භාවනා වැඩ සටහන පස්වරු හයට නිමාවිය.
දුරුතු පුන් පොහෝ දින මහා විහාරය මගින් පවත්වන්නට යෙදුනු දාන ශීල භාවනා වැඩසටහන සාර්ථකව කරගැනීමට සහයෝගය දුන් අප විහාරස්ථානයේ විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලා සහ උපාසක උපාසිකාවන් වෙනුවෙන් උදෑසන සහ දහවල් දානයත් ගිලන්පසත් සැපයූ පින්වතුන් සියලු දෙනාටත් ආගමික වැඩ සටහන වෙනුවෙන් නන් අයුරින් අපහට දායකත්වය සැපයු සැමටත් සකල ලෝකවාසීන්ටත් ජය මා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් ලැබුවාවූ 2019 නව වසර සෞභාග්‍යමත් ප්‍රිතිමත් වාසනාවන්ත නව වසරක් වේවායි ආශිර්වාද පෙරදැරිව ප්‍රාර්ථනා කරමි.!

කිරින්දේ ඥානදස්සන හිමි
මහා විහාරයේ 2019 දුරුතු පුන් පොහෝ දින
දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන සම්බන්ධීකාරක

 

පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි
අටමස්ථානාධිපති